Ministry of Higher Education & Highways

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති අධිවේගී මාර්ග

අධිවේගී මාර්ග

ශ්‍රී ලංකාවේ ඉතා පුළුල් මාර්ග ජාලයක් පැවතියද ඉන් බොහෝමයක් මාර්ග මීට අවුරුදු 50 කටත් පෙර ඉදිකරන ලද ඒවා වන අතර වැඩිවන රථවාහන ධාරිතාවය සාර්ථකව හැසිරවීමට හැකි තත්වයක් එයට හිමිව නොමැත. එම නිසා වර්ධනය වන ප්‍රවාහන අවශ්‍යතාවයන්ට මුහුණ දීමට හා මාර්ග ජාලය රටේ සංවර්ධනයට අවහිරයක් වීම වැලැක්වීම සදහා පුළුල් හා කාර්යක්ෂම මාර්ග ජාලයක් වැඩි දියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

කොළඹ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් රට පුරා විහිදෙන ලෙස ඉදිවෙනමින් පවතින ඉහල මට්ටමේ සීමිත ප්‍රවේශ මාර්ග ජාලය මගින් ආර්ථික වශයෙන් දුර්වල ප්‍රදේශ වල නිෂ්පාදන, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික අංශ වල වර්ධනය ධෛර්යය මත් කිරීමට අගනා සහයක් ලබාදෙනු ඇත.

අධිවේගී මාර්ග ජාලය දැක්වෙන සිතියම

 

අධිවේගී මාර්ග සංවර්ධනය

 

දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය

දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිකෙරුණු මංතීරු 04 කින් යුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුර කි.මී.126 වන අතර කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැක්ම, බද්දේගම, පින්නදූව, ඉමදූව, කොක්මාදූව හා ගොඩගම යන ස්ථානවල අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 11ක් ඉදිකොට ඇත.

මෙම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක වූ අතර ඉන් ප්‍රථම අදියර - කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස (කි.මී.95.3) සහ ගාලු වරාය ප්‍රවේශ මාර්ගය (කි.මී.5.2), 2011 නොවැම්බර් 27 වන දින මහජනතාව සඳහා විවෘත කරන ලදී. මෙහි දෙවන කොටස ලෙස පින්නදූව -මාතර (කි.මී 30.8) දක්වා වන අධිවේගී මාර්ග කොටස චීන ආනයන අපනයන බැංකුවේ (EXIM Bank ) මූල්‍යාධාර මත ඉදිකරන ලද අධිවේගී මාර්ග අතර එය 2014 මාර්තු 15 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය(JICA), ආසියානු සංවර්ධන බැංකුව (ADB) හා ශ්‍රී ලංකා රජය එක්ව අරමුදල් සපයා ඇත

 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම අසලින් ආරම්භ වී කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගය අසලින් නිමාවට පත්වේ.මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2009 අගෝස්තු මාසයේදී චීන අපනයන හා ආනයන බැංකුවේ (EXIM Bank)  මූල්‍යාධාර මත ආරම්භ කරන ලද අතර  එය 2013 ඔක්තෝබර් 27 වන දින මහජනතාව සඳහා විවෘත කරන ලදී. ඒ සඳහා අන්තර්හුවමාරු 05 ක් (නව නැළණි පාලම අසල, පෑලියගොඩ, කෙරවලපිටිය, ජාඇල සහ කටුනායක) ඉදිකොට ඇත.මෙහි සම්පූර්ණ දිග කි.මී. 25.8 ක් වන අතර මෙම මාර්ගය නව  කැළණි පාලමේ සිට පෑලියගොඩ අන්තර් හුවමාරුව දක්වා මංතීරු 6ක් ලෙසද පෑලි‍යගොඩ සිට කටුනායක දක්වා මංතිරු 4ක් ලෙසද ඉදිකර ඇත.

 

පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය

පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය කොළඹ නගරය සඳහා වන පිටත වටරවුම් මහාමාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වේ. කොළඹ නගරයේ සිට විහිදෙන අනෙකුත් ජාතික මහාමාර්ග (ඒ1, ඒ3, ඒ4) ද එයට සම්බන්ධ වේ. මෙහි සම්පූර්ණ දිග කි.මී. 29.1 ක් වන අතර පැ.කි.මී. 80 සහ පැ.කි.මී. 100 යන වේග සීමාවන් සඳහා මෙය සැලසුම් කර ඇත. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩ පහත දැක්වෙන පරිදි අදියර තුනකට වෙන් කර ඇත.

 

I වන අදියර - කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස (කි.මී. 11)

පළමු අදියරේ ප්‍රධාන කාර්යභාරය වනුයේ  කොට්ටාව සිට කඩුවෙල දක්වා කි.මී. 11 ක් දිගැති මංතීරු හතරේ අධිවේගී මාර්ගය ඉදිකිරීම සහ කොට්ටාව අන්තර් හුවමාරුව ඉදිකිරීමයි. මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍යාධාර යටතේ 2009 වර්ෂයේ ආරම්භ කළ අතර ඉදිකිරීම් කටයුතු නිමකර 2014 මාර්තු මස 08 වන දින ජනතා අයිතියට පත්කරන ලදී. අන්තර් හුවමාරු ස්ථාන තුනක් (කොට්ටාව, අතුරුගිරිය සහ කොතලාවල) , මාර්ගය හරහා  ඉහළින් ඉදිකරන ලද පාලම් අටක් (Overpasses), යටි බිම් මාර්ග එකක් (Underpass) සහ බෝක්කු 54 ක් මෙම කොටසට අයත් වේ.

 

II වන අදියර - ඩුවෙල සිට කඩවත දක්වා කොටස (කි.මී. 8.9)

II වන අදියරේ ප්‍රධාන කාර්යභාරය වනුයේ කඩුවෙල සිට කඩවත දක්වා කි.මී. 8.9 ක් දිගැති මංතීරු හතරේ අධිවේගී මාර්ගය ඉදිකිරීම සහ කඩුවෙල සහ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීම වන අතර තවද ඊට පාලම් හතක් සහ මාර්ගය හරහා ඉහළින් ඉදිකරන ලද පාලම් පහක් ද අයත් වේ. 2011 ජනවාරි මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර එය 2015 දෙසැම්බර් 17 වන දින ජනතා අයිතියට පත්කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් අරමුදල් සපයන ලදී.

 

III වන අදියර - ඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස

මෙම ව්‍යාපෘතිය චීන ආනයන හා අපනයන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම කොටසේ සම්පූර්ණ ප්‍රමාණය කි.දිග මි. 9.3 කි. මේ වන විට ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වල නිරත වේ.

 

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත් පැකේජ 4 ක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇති අතර දැනට කොන්ත්‍රාත් පැකේජ I,II හා III යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

පැකේජ අංක I :- කඩවත- මීරීගම දක්වා කොටස (කි.මී 37.09)

පැකේජ අංක II :- මීරිගම- කුරුණෑගල දක්වා කොටස හා අඹේපුස්ස ප්‍රවේශය ( කි.මී.49.02)

පැකේජ අංක III :- පොතුහැර - ගලගෙදර දක්වා කොටස (කි.මී.32.5)

පැකේජ අංක IV :- කුරුණෑගල- දඹුල්ල දක්වා කොටස (කි.මී.60.3)

 

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය

දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම සඳහා 2015 ජූලි මස 04 වන දින චීන ආනයන හා අපනයන (එක්සිම්) බැංකු අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙහි මුළු දුර ප්‍රමාණය කි.මී.96 කි. යෝජිත උක්ත අධිවේගී මාර්ගය ඉදිකිරීම පහත පරිදි කොටස් 4 කින් සිදු කෙරෙමින් පවතී.

  • මාතර සිට බෙලිඅත්ත  මාර්ග කොටස

කි.මී.30

  • බෙලිඅත්ත සිට වැටිය මාර්ග කොටස

කි.මී.26

  • වැටිය සිට අන්දරවැව මාර්ග කොටස

කි.මී.15

  • අන්දරවැව හරහා මත්තල සිට හම්බන්තොට මාර්ග කොටස

කි.මී.25

 

 

අධිවේගී මාර්ග සඳහා වන සංවේදී ප්‍රවාහන පද්ධතිය (ITS)

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වනුයේ, අධිවේගී මාර්ගයන් තුල ජාත්‍යන්තර වශයෙන් යොදාගන්නා නවීන ඉලෙක්ට්‍රොනික පණිවිඩ පද්ධතියක් ස්ථාපිත කිරීම තුළින් මාර්ගය භාවිතාකරන්නන් හට කාලානුරෑපී ඵලදායී සේවාවක් ලබා දීමයි. මේ යටතේ පණිවිඩ සංඥා පුවරු (VMS) ස්ථාපිත කිරීම සහ වැසි මාපන යන්ත්‍ර සවිකිරීම සිදු කරන ලදී.

 
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ නම

දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ කොට්ටාව සිට ගොඩගම දක්වා කොටස ඉදිකිරීම.

ව්‍යාපෘතියේ විස්තර

බස්නාහිර පළාතේ කොට්ටාවෙන් ආරම්භ වී දකුණු පලාතේ ගොඩගමින් අවසන් වන කි.මී.126 කින් යුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස ලංකාවේ ප්‍රථම පිවිසුම් පාලිත අධිවේගී මාර්ගයයි. ව්‍යාපෘතියේ මූලික කටයුතු වන ඉඩම් අත්පත් කිරීම, නැවත පදිංචි කිරීම සහ පොදු පහසුකම් ප්‍රතිස්ථාපනය අවසන් වූ පසු එහි ඉදිකිරීම් කටයුතු වසර කිහිපයකට පෙර ආරම්භ විය. මීටර් 19 ක් පළල දක්ෂිණ අධිවේගී මාර්ගය ප්‍රධාන වශයෙන් එකක් මීටර් 3.5 බැගින් එක් පැත්තකට මං තීරු දෙකකින් යුක්ත, දෙපසට මාර්ග පථ දෙකක් සහිතව සහ දෙපස මීටර් 1.75 ක් පළල හදිසි නැවතුම් තීරු දෙකකින් හා මීටර් 1.5 පළල මධ්‍ය  බෙදුමකින්ද යුක්තය. ඉදිකිරීම් ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වූ අතර විවිධ තාක්ෂණික ක්‍රම මගින් වගුරු ප්‍රදේශ වැඩි දියුණු කිරීම, පස් කැපීම්, පස් පිරවීම්, බොක්කු හා පාලම් ඉදිකිරීම සහ අවසාන වශයෙන්  තාර සහිත මතුපිට පෘෂ්ඨය සැකසීම ඊට අයත්ය. මෙම අධිවේගී මාර්ගය ඉදිරියේදී මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමටද නියමිතය.

මූල්‍යා ධාර සැපයුම්

කොට්ටාව සිට දොඩංගොඩ දොඩංගොඩ සිට කුරුඳුගහහැතැක්ම කුරුඳුගහහැතැක්ම සිට පින්නදූව පින්නදූව සිට මාතර දක්වා සහ ගාලු වරාය පිවිසුම
ජාත්‍යන්තර සහයෝගීතා අරමුදල/ ශ්‍රී ලංකා රජය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය/ ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව/ ශ්‍රී ලංකා රජය අපනයන ආනයන චීන බැංකුව/ ශ්‍රී ලංකා රජය

ව්‍යාපෘතියේ කාල සීමාව

ව්‍යාපෘති කොටස කොට්ටාව සිට දොඩංගොඩ දොඩංගොඩ සිට කුරුඳුගහහැතැක්ම කුරුඳුගහහැතැක්ම සිට පින්නදූව පින්නදූව සිට මාතර දක්වා සහ ගාලු වරාය පිවිසුම
අවසන් කිරීමට නියමිත දිනය 2011.10.20 2011.10.20 2011.05.10 2013.04.20

වර්තමාන ප්‍රගතිය

ව්‍යාපෘති කොටස කොට්ටාව සිට දොඩංගොඩ දොඩංගොඩ සිට කුරුඳුගහහැතැක්ම කුරුඳුගහහැතැක්ම සිට පින්නදූව පින්නදූව සිට මාතර දක්වා සහ ගාලු වරාය පිවිසුම
භෞතික ප්‍රගතිය (ඔක්තෝබර්) 99% 99% 100% සම්පූර්ණ කර ඇත. 0.5%

ප්‍රතිලාභ

ආර්ථික

  • සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව දකුණු පළාතෙන් වැඩි දළ දේශීය නිෂ්පාදිතයක් ලබා ගැනීම‍.
  • සමස්ත පිරිමි හා කාන්තා රැකියා වියුක්තියට සාපේක්ෂව දකුණු පළාතේ රැකියා වියුක්ති ප්‍රතිශතය අඩු කිරීම.
  • සමස්ත සාපේක්ෂ දරිද්‍රතතාවයට සමානුපාතිකව දකුණු පළාතේ සාපේක්ෂ දරිද්‍රපතාවය අඩු කිරීම.

ඉඩම් වටිනාකම්

  • අධිවේගී මාර්ගය දෙපස ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයන්හි ඉඩම් වල වෙළඳ වටිනාකම වැඩි වීම.

සංචාරක

  • දකුණු වෙරළ තීරය ආශ්‍රිතත සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වීම‍.
නිළ වෙබ් අඩවිය සඳහා මෙහි ක්ලික් කරන්න

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය

ව්‍යාපෘතියේ නම

කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තරය

කොළඹ සි‍ට ක‍ටුනායක දක්වා දිගින් කි.මී. 25.8 ක් පමණ වන මෙම යෝජිත අධිවේගි මාර්ගයේ ආරම්භක ස්ථානය නව කැළණි පාලම වන අතර එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ගයෙන් (කැනඩා මිත්‍රත්ව මාර්ගය) අවසන් වේ.

අධිවේගි මාර්ගය මංතීරු 6 සහ 4 වන කොටස්වලින් යුක්ත වන අතර පළල පිළිවෙලින් මීටර් 33.5 ක් සහ 26.0 ක් වනු ඇත. එය පැයට කි.මි 80 සිට 100 දක්වා වේග සීමාවන්ට රථ වාහන ගමනාගමනය කලහැකි පරිදි සැලසුම්කර ඇත. එමගින් කොළඹ සිට කටුනායක දක්වා ගමනාගමනයට ගතවන කාලය විනාඩි 20 දක්වා අඩුකර ගතහැක.

මෙම මාර්ගය සදහා යෝජිත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4 කි. එනම්

  • නව කැළණි පාලම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය
  • පෑළියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය
  • ජා-ඇළ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය
  • කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථානය
ඉදිකිරිම් කටයුතු 2009.08.18 ඇරඹුණු අතර ශ්රිා ලංකා රජය වෙත චීන මහජන සමූහාණ්ඩුවෙන් ලැබෙන ණය ආධාර මත 2013 ‍වසරේ මුල් භාගයේදි නිම කිරිමට සැලසුම්කර ඇත. ගවේෂණ කටයුතු, සැලසුම් සහ පොදු පහසුකම් ප්‍රතිස්ථානගත කිරිම් ආදිය ඇතුලත්ව ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 292 ක් වැයවනු ඇත. එම වියදමින් ඇ. ඩොලර් මිලියන 248.2 ක් චීන මහජන සමූහාණ්ඩුවේ ණය ආධාරයක් වශයෙන් ලැබෙන අතර ඉතිරිය සදහා දේශීය මුදල් යොදවනු ඇත.

මුල්‍යාධාර ලැබෙන ආකාරය

චීනයේ EXIM බැංකු ණය හා දේශීය අරමුදල්

ව්‍යාපෘතියේ කාලය

මාස 39

වර්තමාන තත්වය

අධිවේගි මාර්ගය සදහා පාලම් 40ක් පමණද පෙටිටි බෝක්කු 88ක් පමණද ඉදිකිරිමට අවශ්‍ය වනු ඇත.  දැනට පාලම් 27 ක පමණ ඉදිකිරිම් කරමින් පවතින අතර පෙටි‍ටි බෝක්කු 50 පමණ ඉදිකොට අවසන්කර ඇත. හුණුපිටිය ලංකා පොහොර සමාගම ආසන්නයේ කොන්ක්‍රි කුළුණු මත ගුවන් පාලමක් ලෙසින් ඉදිවෙමින් පවතින මිටර් 480 පමණ දිග මාර්ග කොටස (Viaduct) මෙම ව්‍යාපෘතියේ සුවිශේෂි ඉදිකිරිමක් වනු ඇත.  එසේම කටුනායක මංසන්දියේ සිට ගුවන් තොටුපළ ආසන්නය තෙක් ද එම ආකාරයේ ගුවන් පාලමක් ඉදිකිරිමට යෝජිත‍ය.  මෙම අධිවේගි මාර්ගය හා සම්බන්ධවන සේ පෑළියගොඩ  - පුත්තලම (ඒ3) මාර්ගයෙන් කොළඹ - නුවර (ඒ1) මාර්ගයට සහ තුඩැල්ල - පමුණුගම මාර්ගයට පිවිසුම් මාර්ග දෙකක් පිළිවෙලින් පෑළියගොඩ සහ ජා-ඇල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා ඉදි කෙරේ. මෙම මාර්ග පථයේ පිරවුම සදහා මුහුදු වැලි භාවිතා කරනු ලබන අතර අවශ්‍ය ස්ථානයන්හිදි යන්ත්‍ර මගින් දුර්වල පස් ශක්තිමත් කිරිම සදහා කටයුතු කෙරෙමින් පවති.

මාර්ග පථයේ පිරවීම් ප්‍රගතිය 62% වන අතර දුර්වල පස් ශක්තිමත් කිරිමේ ක්‍රියා‍වලියෙහි ප්‍රගතිය 95%කි.  බොක්කු සහ පාලම් ඉදිකිරිමේ ප්‍රගතිය පිළිවෙලින් 56% සහ 50% කි.

ව්‍යාපෘතියේ සමස්ත භෞතික ප්‍රගතිය 45%ක් වේ.

ව්‍යාපෘති ප්‍රතිලාභ

  • කොළඹ සහ ක‍ටුනායක ගුවන් තොටුපල අතර කඩිනම් ප්‍රවාහන පද්ධතියක් ඇතිවීම.
  • කොළඹ ප්‍රදේශයෙන් පිටත වාසස්ථාන සදහා මහජනතාව දිරිමත් වීම.
  • විශාල වශයෙන් ඉහළ යන ප්‍රවාහන ගමනාගමන අවශ්‍යතාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු වීම.
  • ප්‍රදේශයේ පිහිටි කර්මාන්තවල සහ ඒ සම්බන්ධිත බහාලුම් ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණුවීම.
  • දැනට විශාල වශයෙන් වාහන තදබදයට ලක්වී ඇති පෑළිය‍ගොඩ - පුත්තලම් (ඒ3) මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ගයක් භාවිතා කිරිමට හැකිවීම.

කොළඹ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ නම

කොළඹ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ විස්තර

ශ්‍රී ලංකාවේ ජාතික මහාමාර්ග හා දැනට ඉඳිකරමින් පවතින අධිවේගී මාර්ගයන් සම්බන්ධ කරනුයේ මෙම මාර්ගය මගිනි. මෙම මාර්ගය කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයක් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අවසන්වේ. මෙම මාර්ගය දිගින් 29.1 කි.මී. (-600+28+500) වන අතර පහත සදහන් අයුරින් කොටස් 03 කට බෙදා ඇත.

අදියර 1 - දකුණු කොටස - කොට්ටාව සිට කඩුවෙල දක්වා - කි.මී.11.0
අදියර 11 - උතුරු කොටස 1 - කඩුවෙල සිට කඩවත දක්වා - කි.මී.8.9
අදියර 111 - උතුරු කොටස 11 - කඩවත සිට කෙරවලපිටිය දක්වා - කි.මී.9.2
මෙම මාර්ගය සැලසුම් කිරීම්, ඉඩම් අත්පත් කරගැනීම යන ඉඳිකිරීම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

අරමුදල් ප්‍රභවය

දකුණු කොටස සහ උතුරු කොටස 1

- ජපන් සහයෝගීතා අන්තර් ජාතික අරමුදල
උතුරු කොටස 11 - චීන එක්සිම් බැංකුව

ව්‍යාපෘතියේ කාලසීමාව

දකුණු කොටස - මාස 42
උතුරු කොටස I
- මාස 36
උතුරු කොටස II
- මාස 36

වර්තමාන ප්‍රගතිය

දකුණු කොටස - ඉඳිකිරීම් 2009 දෙසැම්බර් මස 01 වන දින ආරම්භ කර ඇති අතර, ඉඳිකිරීම් 30% ක ප්‍රමාණයක් අවසන් කර ඇත.
උතුරු කොටස I
- ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු අවසන් වෙමින් පවතී.
උතුරු කොටස II - ඉඩම් අත්පත් කරගැනීමේ හා ඉඳිකිරීම් කටයුතු සදහා මුලික කටයුතු කෙරෙමින් පවතී.

ප්‍රතිලාභ

  • යෝජිත හුවමාරු සන්ධිස්ථාන ආශ්‍රිත වත්මන් හා අනාගත වර්ධන මධ්‍යස්ථාන මෙම මාර්ගය මගින් සම්බන්ධ කිරීමෙන් කලාපීය සංවර්ධනයට දිරිගැන්වීමක් ඇති කිරීම.
  • වත්මන් හා අනාගත වර්ධන මධ්‍යස්ථාන අතර කෙටි දුර ගමන් වේගවත් කිරීම.
  • මාර්ග යටිතල පහසුකම් දියුණුවීම හා එමගින් ගමන් කාලය අඩුවීමෙන් විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම.
  • හුවමාරු සංධිස්ථාන 06 අවට ඇතිවන සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඒ ආශ්‍රිත දේපල වල වටිනාකම් ඉහළ යාම.
  • වාහන තදබදය හේතු කොට ගෙන ඇති වන්නාවූ පරිසර දූෂණය අඩු කිරීම හා වාහන ධාවන පිරිවැය අවම කිරීම.

උතුරු- නැගෙනහිර (කොළඹ - නුවර) අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

හැඳින්වීම

යෝජිත උතුරු- නැගෙනහිර (කොළඹ - නුවර) අධිවේගී මාර්ගය යෝජිත  පිටත වටරවුම් මාර්ගයේ පිවිසුමක් වන  සහ දැනට පවතින කොළඹ - නුවර මාර්ගයේ (A1)  කඩවත නගර සීමාවෙන් ආරම්භවීමට නියමිතය. එය කඩුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය (A10)  සඳහා හේදෙනිය ප්‍රදේශයෙන්ද නුවර - යාපනය මාර්ගය (A9)  සඳහා කටුගස්තොටින්ද පිවිසුම් සපයයි. මෙම අධිවේගී මාර්ගය කි.මි. 99 කින් සමන්විත වන අතර පළමු අදියර යටතේ කඩවත සිට අඹේපුස්සටද දෙවන අදියර යටතේ අඹේපුස්ස සිට කටුගස්තොටද ඉදිකිරීමට යෝජිතය.

යෝජිත මාර්ග ඉදිකිරීම් පථයේ මුල් කි.මි. 25 ක කොටස ගංවතුර ආපදා ඇතිවීමේ ප්‍රදේශයක් හරහා ගමන් කිරීමට නියමිතය. එම ප්‍රදේශය 2010 මැයි මාසයේදී දැඩි ගංවතුර තත්ත්වයකට ලක් විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම මුල් කොටසෙහි අවශ්‍ය ප්‍රදේශ සඳහා කණුමත ඉදිවන මාර්ගයක් යෝජනා වී ඇති අතර එහි මුල් දිග ප්‍රමාණය කි.මි. 9 ක් පමණ වේ.

ප්‍රධාන උපාංග

අදියර 1 - කඩවත - අඹේපුස්ස
දිග - කි.මි. 48.2
ධාවන මංතීරු ප්‍රමාණය
- 04 (තවත් ධාවන තීරු දෙකක් සඳහා ඉඩ කඩ සහිතව)
අන්තර් හුමාරු මධ්‍යස්ථාන
- කඩවත , ගම්පහ, බලබෝව, මීරිගම, අඹේපුස්ස
යෝජිත ධාවන වේගය - පැයට කි.මි. 100 
අදියර 2 - අඹේපුස්ස - කටුගස්තොට
දිග - කි.මි. 50.7
ධාවන මංතීරු ප්‍රමාණය
- 04
අන්තර් හුමාරු මධ්‍යස්ථාන
- අඹේපුස්ස , දේවාලගම, රඹුක්කන, හතරලියැද්ද, හේදෙනිය, කටුගස්තොට
යෝජිත ධාවන වේගය - පැයට කි.මි. 80 

අරමුණු

  • විකල්ප මාර්ගයක් විවෘත කිරීම තුල උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත තුල ගෘහස්ත සහ කර්මාන්ත ප්‍රදේශය  විකාශනය කිරීම.
  • යෝජිත අධිවේගී මාර්ග ජාලයට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සමඟ අදාල  ප්‍රදේශ සහ සම්බන්ධ කිරීම මගින් එහි ජනතාවට රටතුල වේගවත් ගමනාගමනයක් ලබාදීම
  • ආර්ථික, කාර්මික, කෘෂිකාර්මික සහ වැවිලි කර්මාන්තවලට නව ප්‍රදේශ එක් කිරීම තුලින් රට තුල  දියුණුවක් ඇති කිරීම
  • ධාවන වේගය වැඩි කිරීම
  • කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය තුල දැනට පවතින රථවාහන තදබදය අඩුකිරීම

නවතම තත්ත්වය

ශක්‍යතා අධ්‍යයනය 2001 වර්ෂයේදී නිම කළ අතර යෝජිත මාර්ග පථය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ද ලැබී ඇත.

අදියර 1 සඳහා මූලික මිනුම් කටයුතු නිම කර ඇති අතර අදියර 2 හි මූලික මිනුම් කටයුතුද නිමවෙමින් පවතී. අදියර 1 කෙහි කි.මි. 33 ක් ප්‍රාථමික සඳහා වූ ප්‍රාථමික සැලසුම් නිම කර ඇති අතර සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකසමින් පවතී.

අදියර 1 සඳහා  වූ නැවත පදිංචි කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන්ය. ඉඩම් පනතෙහි කාණ්ඩ 2 ට අනුකූලව මිනුම් කටයුතු අවසන් කර ඇති අතර කඩවත සිට වූ කි.මි. 33 ක කොටස සඳහා අවසන් නිර්මිතයන් සකසමින් පවතී.

අදියර 1 සඳහා ජල විද්‍යා අධයනය සම්පුර්ණකර ඇති අතර  භූමියේ විමර්ෂණ කටයුතු කෙරෙමින් පවති.  පළමු කි.මී 10 යේ භූමි‍යේ විමර්ෂණ කටයුතු දැනටමත් අවසන් කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම

අදියර 1 සදහා තාවකාලික වියදම රු.මි.70 වන අතර අදියර 2 සදහා එය රු.බි.90ක් වේ. අදියර 1හි  හෝ ඉන් කොටසක කොන්ත්‍රත් කටයුතු ආරම්භ කිරිමට විදේශ මූල්‍යාධාර හෝ ආයෝජකයෙකු බලාපොරොත්තුවේ . මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍යාධාර සපයන්න් හා  ආයෝජකයන් කිහිප දෙනෙකුගේම අවධානය යෙමු වි ඇති නිසා ඉදිරියේදි අදාල වැඩ කටයුතු ආරම්භ කිරිමට නියමිතය.

ප්‍රතිලාභ

  • මෙම විකල්ප මාර්ගය ඇතිවීම නිසා උතුරු, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත් වලට නේවාසික සහ කාර්මික ජනාවාස ව්‍යාප්ත වීමක් ඇතිවේ.
  • කාර්මික,කෘෂි කාර්මික හා වැවිලි කර්මාන්ත සංවර්ධනය සදහා නව ප්‍රදේශ විවරවීම.
  • සංචාරක කර්මාන්තයේ සහ අනෙකුත් ආයෝජනයන් වල වර්ධනයක් අපේක්ෂා කෙරේ.

නැවුම් පුවත්

left direction
right direction